Gossips

නාමල් කුමාර ගැන, ජනාධිපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙසට පෙනී සිටිමින් වංචනික කටයුතුවල නිරතවී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ නාමල් කුමාර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ස්වේච්ඡා සාමාජිකයෙකු ලෙසට පසුගිය වසරවලදී ස්ව කැමැත්තෙන් සහභාගී වී තිබු බවයි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චිගේ අත්සනින් යුතුව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නාමල් කුමාර, ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන අයෙකු ද නොවන බව හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය නොකරන බවයි.
එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් ව්‍යාප්ත කිරීම සහ තොරතුරු ලබාගැනීමේ අරමුණින් ස්වේච්ඡා අයදුම්පත් මාර්ගයෙන් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පවතින අතර ඒ සඳහා අවශ්‍යතාව ඇති පුද්ගලයන් 20000 කට අධික ප්‍රමාණයක් එම වැඩපිළිවෙලට සම්බන්ධ වී ඇති බවයි.
වරකාපොළ ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර ද ස්ව කැමැත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය කාර්යයන් සඳහා උපකාර කිරීමට එකගතාව පළ කරමින් කෑගල්ල ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් සේවය කර ඇති පුද්ගලයෙක් පමණක් බවයි මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සඳහන් කර ඇත්තේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළි කළ කරුණු ගැන සමාජය තුළ ඇති වුණේ පුළුල් සංවාදයක්.