Gossips

භාරකාර ආණ්ඩුවේ තීරණය ගන්න කමිටුව රැස්වී සාකච්ඡා කරයි

භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව පත්කළ විශේෂ කමිටුවේදී සාකච්ඡාවී තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේදියි.
පසුගියදා පැවති නිදහස් සන්ධානයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම විශේෂ කමිටුව පත් කෙරුණා.
ඒ අනුව එහි පළමු රැස්වීම ඊයේ පැවති අතර, ඊට මහජන එක්සත් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙන්ම නිදහස් සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ වන දේශවිමුක්ති ජනතා පෙරමුණ, මහජන පක්ෂයේ නියෝජිතයින්ද එක්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ ෆයිසර් මුස්තාෆා සාකච්ඡාවට සහභාගිව සිටි අතර, නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 15 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් ඊට එක්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්තයි.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය සහ නිදහස් පක්ෂය එක්ව දේශපාලන කටයුතු සිදුකරන්නේ නම් ජනාධිපතිවරයාගේ භූමිකාව කුමක්දැයි නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන් ප්‍රශ්ණ කළ බවයි සාකච්ඡාවට එක්වූ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත් යළි රැස්වීමේ අරමුණින් මෙම සාකච්ඡාව අවසන් වී තිබෙනවා.