Gossips

ත්‍රිරෝද රථ ගාස්තුව 10 කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 40 ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් දහයකින් ඉහළ යනු ඇති.
මේ අතර පාසල් වෑන් රථ ගාස්තුවද සංශෝධනය කිරීමට ද තීරණය කර ඇති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්.එම්.ඒ. හරිස්චන්ද්‍ර කියා සිටියා.
ඊයේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔටෝ ඞීසල් මිල වැඩිවීමක් සිදුවූයේ නැහැ. කෙසේ වෙතත් ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඞීසල් ලීටරයක මිලද රුපියල් 129 ක් දක්වා ඉහල නංවනු ලැබුවා.
බස් සංගම් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වලද ඔටෝ ඞීසල් මිල ඉහල නැංවුවහොත් අනිවාර්ය ගාස්තු වැඩිවීමකට යොමුවීමට සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් බස් සංගම් අතර සාකච්ඡාවක්ද අද පෙරවරුවේ පැවැත්වුණා.