Gossips

ඥානසාර හිමියන්ට සමාව ඉල්ලා බොදුබලය ජනපතිට ලියයි

සිරදඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මෙම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ ඥාණසාර හිමියන් අධිකරණයේදී අදහස් පළ කළද එය කිසිවිටෙක අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් සිදුවූවක් නොවන බවයි.
එය රටේ හමුදා බුද්ධි නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරකර තැබීම පිළිබඳව කළ අහිංසක ඉල්ලීමක් බවද එහි දැක්වෙනවා.
එසේ කතා කිරීමෙන් වරදක් වූයේ නම් සමාවන ලෙස එම අවස්ථාවේදීම ඉල්ලා ඇති බවයි මෙම ලිපියේ තවදුරටත් සඳහන් වුණේ.
මෙම ක්‍රියාදාමය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බව සඳහන් කර ඇති බොදුබල සේනා සංවිධානය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම තත්ත්වයන් සළකා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති, බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරණදෙණියේ නන්ද සහ සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන්ගේ මුලිකත්වයෙනුයි ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත්තේ.