Gossips

රාජ් සෝමදේවගේ බලපත්‍රය අත්හිටුවීමට හේතු හෙළිවේ

කැණීම් පිළිබඳ වාර්තා සහ සොයාගත් පෞරාණික භාණ්ඩ ලබානොදීම නිසා ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රචාර පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
2010 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ මහාචාර්යවරයාට කැණිම් බලපත්‍ර 19 ක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළා.
කැණීම් බලපත්‍ර අත්හිටවූ බව මාස 7කට පමණ පෙර මහාචාර්යවරයාට දැනුම්දුන් බව කියා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේවගේ ඇතැම් ප්‍රකාශ වෘත්තිය සදාචාරයට නොගැළපෙන බවයි ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව අප ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අනුව අදාළ වාර්තා සහ උපකරණ නිසි පරිදි ලබාදුන් බවයි.
නමුත් එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා ප්‍රමාණවත් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළා.
පුරාවිද්‍යාව පිළිබඳ නිසි දැනුමක් නොමැති පුද්ගලයන් සමඟ සංවාද කර පළක් නොමැති බවයි මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ.
පසුගිය කාලය තුළ පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නම සඳහන් වුණු මහාචාර්ය රාජ් සෝමදේව ස්කැන්ඩිනේවියානු විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත විද්වතෙක්.
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස ඔහු වසර ගණනාවක සිට සේවය කරනවා.