Gossips

අධිකරණය මගහැර අසනීප වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින්

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිටපු සේවකයින් තිදෙනෙකු ගාල්ල කම්කරු අධිකරණයේ ගොනුකර තිබු නඩුවක් ඊයේ දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ විත්තිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරින් පස් දෙනෙකුම අසනීප බව පවසමින් අධිකරණය මගහැර තිබෙනවා.
දකුණු පළාත් ක්‍රිකට් සංගමයට අනුයුක්තව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වසර 20කට අධික කාලයක් සේවය කල ක්‍රීඩාංගන සම්බන්ධීකාරකලගිණුම් ලිපිකාරිණිය සහ පරිඝනක ක්‍රියාකාරිනිය මෙම නඩුව ගොනුකර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පරිපාලනය අසාධාරණ ලෙස සිය රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන කළමනාකරු ගොඩ්ෆ්‍රී දාබරේරා, පරිපාලන කළමනාකරු අසන්ත දසනායක, හිටපු මානව සම්පත් කළමනාකරු ලසිත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ඉංජිනේරුවරයෙකු වන ප්‍රසන්න ජිනරතන යන මහත්වරුන් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස කැදවා තිබුනා.
ඊයේ දිනයේ ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර සිය සේවාදායකයින් අසනීපයෙන් පසුවන බව නිතීඤවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබෙනවා.
එහිදී කම්කරු විනිශ්චය සභා සභාපති අතිරේක මහේස්ත්‍රාත් රංග මොහොට්ටි මහතා විමසා ඇත්තේ ඔවුන් පස්දෙනා එකවර අසනීප වුයේ කෙසේද යන්නයි.
කෙසේ නමුත් මීළඟ නඩු වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පස් දෙනාටම වෛද්‍ය වාර්තා ඉදිරිපත්කරන ලෙසට අධිකරණය දැනුම්දී තිබෙනවා.