Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ යනු ඇති.
එහි නව මිලර රුපියල් 155 ක් වනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 169 ක් වනවා.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ නංවා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
එහි නව මිල රුපියල් 141 ක්.
කෙසේවෙතත් මෙවර ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැහැ.
ඒ අනුව රුපියල් 123 ක් වන ඔටෝ ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය කියාසිටියේ මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින් වැඩි කළ යුතුව තිබුන ද විශේෂයෙන් මහජනතාවට මෙන්ම ප්‍රවාහන ධීවර වැනි ක්ෂේත්‍රවලට ඇතිවන අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මිල වැඩි නොකළ බවයි.
බොරතෙල් මිල සඳහා පවතින ජාත්‍යන්තර මිල සහ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පදනම් කරගෙන දේශීය වශයෙන් ඉන්ධන මිල තීරණය කිරීම සඳහායි පසුගිය මැයි මස 9 වනදා මිල සූත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවේ.
මිල සූත්‍රය අනුව අවසන් වරට පසුගිය සැප්තැම්බර් මස 10 වනදා ඉන්ධන මිල සංශෝදනය කෙරුනා.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ එම අවස්ථාවේ අමරිකානු ඩොලර් 75 ක්ව පැවති බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 84 දක්වා ඉහළ ගොස් ඇති බවයි.