Gossips

ගෝඨාභයට එරෙහි විශේෂ මහාධිකරණ නඩු විභාගය දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පවරා ඇති නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පවරා ඇති මෙම නඩුව කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
නඩුවට සහභාගි වීම සඳහා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන 9ට පමණ අධිකරණ භූමියට පැමිණ සිටියා.
එමෙන්ම මෙම නඩුවට අදාලව විත්තියට අවශ්‍ය ලේඛණ ලබාදී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව මේ මස 19 වනදා යලි කැදවීමටයි විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.
මෙම නඩුව පසුගිය මස 10 වනදා මුල්වරට කැදවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනාට අධි චෝදනා බාර දීමෙන් පසුව ඇප මත මුදා හරිනු ලැබුවා.
එමෙන්ම මොවුන්ට විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලූ පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය අගෝස්තු මස 24 වනදා මෙම නඩුව පවරා තිබුණා.