Gossips

ජී.එල්. පීරිස්ගේ නිවසේ අද රාත්‍රියේ සාකච්ඡාවක්

භාරකාර හෝ හවුල් ආණ්ඩුවක් සම්බන්ධයෙන් යෝජනා වී ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
අද රාත්‍රී 7ට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදීයි.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ දැනට සාකච්ඡාවට ලක්වන භාරකාර හෝ හවුල් ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයින් ඊට සහභාගි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පත් කළ කමිටුව හෙට (10) පස්වරුවේ රැස්වනවා.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම මෙහිදී පළාත් සභා මැතිවරණය සහ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබදව සාකච්ඡා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, දිනේෂ් ගුණවර්ධන මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළත්.
ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුව සකස් කළ වාර්තාවේ යෝජනාවලිය දෙසතියකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි.