Gossips

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නොවැම්බර් 5 වන දායි.
අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය දා අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක්.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අයවැය පරතරය රුපියල් බිලියන 644 ක් බවයි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක්.
ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 394 කින් ඉහළ ගොස් තිබෙනවා.
රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීම සඳහා රුපියල් බිලියන 1000 ක් පමණ වැයවන අතර, පාසල් නිල ඇඳුම්, බෙහෙත්, වැඩිහිටි දීමනා, පොහොර සහනාධාර, පෝෂණ මල්ල, වකුගඩු රෝගීන් සඳහා වන දීමනා ඇතුලු සුබසාධන වියදම් සඳහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 220 ක්.
ආරක්ෂක අමාත්‍යාංශයට 2019 විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර ඇති අතර, එය රුපියල් බිලියන 306 ක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙම වසරේදී ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 290 ක් ඇස්තමේන්තු ගත කර තිබූ අතර, ලබන වසර සඳහා රුපියල් බිලියන 16 ක් අමතරව වෙන් කර තිබෙනවා.
එමෙන්ම 2019 වසර වනවිට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක් දක්වා වැඩිවනු ඇතැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.