Gossips

ජනපති සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ හමුවෙයි

දෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සීෂෙල්ස් රාජ්‍යය වෙත ළගාවුණා.
ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සිදුකළ ආරාධනයකට අනුවයි.
සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අද අලුයම එරටට ළගා වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින්.
එම අවස්ථාවට සීෂෙල්ස්හි රුසියානු තානාපති ව්ලැදිමීර් බෙලොස් මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.
අප්‍රිකානු කලාපයේ ඉහළ සංවර්ධනයක් සහිත රටක් වන සීෂෙල්ස් රාජ්‍යය සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් එම සංවර්ධනය අත්කරගෙන තිබෙනවා.
සීෂෙල්ස් බලාගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර හමුව සිදුවුණේ අද පස්වරුවේයි.
එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා.
ජනාධිපතිවරුන් දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණා.
එහිදී ව්‍යාපාරික සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම වසර අවසානයේ සීෂෙල්ස්හි පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයක් සඳහා ශ්‍රි ලාංකිකයින් සහභාගි කරවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ඉදිරියේ ද්විපාර්ශ්වික සාකච්ඡා ශක්තිමත් කෙරෙන නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණා.