Gossips

කැළණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට – ආපදා මරණ 4ක් – තද වැසි තවදුරටත්

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබුණ ද දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් තවමත් ඉහළ අගයක පවතිනවා.
කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු අගයකට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
ඒ අනුව කොළඹ, කැළණිය, කොළොන්නාව, බියගම සහ කඩුවෙල යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව හදිසි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂාවීම සඳහා විමසිල්ලෙන් සිටිය යුතු වනවා.
මීට අමතරව කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් ද පවතින්නේ ඉහළ අගයකයි.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 3 වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව වදුරඹ – කටුගුරාව – ආරළුව ප්‍රදේශයේ දී සැඩ පහරට හසුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම ඇල්පිටිය – උඩුවිල ඇලේ දිය නෑමට ගිය 11 හැවිරිදි පාසල් සිසුවෙකු ද දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යාම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24ක් සඳහා බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම රතු නිවේදනය බල පැවැත්වෙන බවයි.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට, යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන ජනතාව නාය යාම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි එම සංවිධානය ඉල්ලා සිටින්නේ.
වරකාගොඩ – උඩෝවිට – ගීකියනවත්ත පාර ප්‍රදේශයේදී අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
අද (07) අලුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අධික වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහන සැපයීම සඳහා යුද හමුදාව භට කණ්ඩායම් කිහිපයක් ආපදාවට ලක්වී ඇති ප්‍රදේශ වෙත යොමු කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කළුතර ප්‍රදේශයට බෝට්ටු දෙකක්, සන්නද්ධ රථ 3ක් සමඟ 90 දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක් පිටත් කර යැවූ බවයි.
එමෙන්ම ගාල්ල ප්‍රදේශයට බෝට්ටු දෙකක් සමඟ 40 දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ දියවන්නාඔය පිටාර මට්ටමක පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ භටයින් 60 දෙනෙකු යොදවා ඇති බව සඳහන්.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලුත්ගම – මතුගම මාර්ගය ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගය වැලිපැන්න අන්තර් හුවමාරුව ද තාවකාලිකව වසා දමා තිබෙනවා.
මීට අමතරව අධික වර්ෂාවත් සමඟ කලාඔය, එළුවන්කුලම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර, ඒ හේතුවෙන් පුත්තලම – මන්නාරම පැරණි මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම වනාතවිල්ලුව – රාල්මඩුව වැවේ බැම්ම කැඩීයාම හේතුවෙන් එම ජලය ගඟේ වාඩිය ඔස්සේ පුත්තලම කලපුවට එක්වෙමින් තිබෙනවා.
මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය අද (07) තීරණය කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉකුත් පැය විසි හතරක කාලය තුල වැඩිම වර්ෂාපතනය ගාල්ල – පෝද්දිවෙල ප්‍රදේශයෙන් වාර්තා වන බවයි. එය මිලිමීටර් 334.1ක්.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම කොළඹ – ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලද රළු වීමක් දක්නට ලැබෙන අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබදව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.