Gossips

මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අදත් – කළු, ගිං සහ අත්තනගලූ ඔයේ ජල මට්ටමත් වැඩිවෙයි

කෙටි කාල සීමාවක් තුළ මිලිමීටර 150 ඉක්මවූ අධික තද වැසි ඇතිවීමේ කාලගුණික තත්ත්වය ඉදිරි පැය 24 තුල ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි වැඩ බලන අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ දිවයිනට බටහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය මේ වනවිට දිවයිනෙන් බැහැරට යමින් පවතින බවයි.
එහෙත් අද දිනයේත් දිවයිනේ දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක් පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගත වූ පැය 24 තුළ මිලිමීටර් 199 ක වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කළුතර – උස්වැලි ප්‍රදේශයෙන්.
මේ අතර, අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි රළු ස්වභාවයක් ගත් කොළඹ – ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලූයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ධීවර කටයුතු සඳහා එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීම අද දිනය තුළත් නුසුදුසු වනවා.
අධික වැසි හේතුවෙන් කළු, ගිං ගංඟා සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම්ද වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අද අලූයම වනවිට මෙම ජලාශවල ජල මට්ටම්, විමසිලිමත් විය යුතු සීමාවට ආසන්නව පැවති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මේ වනතුරුත් පිටාර ගැලීම් සම්බන්ධයෙන් වාර්තාවී නැහැ.
ඊයේ දිනය පුරා ඇද හැලූණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශවලත් ගාල්ල, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණා.
මහරගම, පිලියන්දල, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, අගලවත්ත, වැලිපැන්න, මහනුවර – අකුරණ ප්‍රදේශවල මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබෙනවා.
අධිවේගී මාර්ග නඩත්තු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක සදහන් කළේ මතුගම – අලූත්ගම මාර්ගය ජලයෙන් යටවීම නිසා වැලිපැන්න අන්තර් හුවමාරුව ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග එක්ව, ජලාශවල ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ද ඊයේ පස්වරුවේ ඉදිරි පැය 24 සදහා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ – හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නායයාම් සහ පස් කදු කඩා වැටීමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කරනු ලැබුවා.