Gossips

වැසි තත්වය තවදුරටත් – ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙසක්

දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි ඇති විය හැකි බවයි.
එසේම උතුරුමැද සහ දකුණු පළාත්වලත් මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
පවතින වැසි තත්වය අද සහ හෙට දිනයන්වලදී තවදුරටත් වර්ධනය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මේ අතර අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට දැනුම් දෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැලකිය යුතුයි.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ඉවත්ව සිටිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය අපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර හෙට පස්වරු 1 දක්වා බල පැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමේ හැකියාවක් පවතින බවයි.
එම මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම වැසි සමග සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
කලුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට සවස දක්වා මුහුදු රළ මීටර් 2 ත් 2.5 ත් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
කෙසේවෙතත් මෙය වෙරළට පැමිණෙන රළවල උස නොවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
එය සුලු වශයෙන් ගොඩබිමට ද පැමිණිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ.
දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය කිහිපයේදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
මේ අතර අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් එය ඉදිරි පැය 36 ක කාලය තුල තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර පසුව සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් පවතිනවා.
මෙම පද්ධතිය වයඹ දිශාව ඔස්සේ ඕමාන් වෙරළ තීරයට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔහු සඳහන් කළේ.
අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර – බෝගන් වතුයාය ප්‍රදේශයෙන් වාර්තාවුණා.
එය මිලිමීටර 102.5 ක්.