Gossips

භාරකාර ආණ්ඩුවක් ගැන තවමත් අදහසක් නැහැ – සන්ධාන මහලේකම්

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මේ දක්වා කිසිදු අදහසක් ඉදිරිපත් වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන ප්‍රචාර පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා පැවති එහි විධායක සභාවේදී විශේෂ කමිටුවක් ද පත් කර තිබූ අතර, එහි වාර්තාව සති දෙකකින් නිකුත් කිරීමට නියමිත බවට ද වාර්තා වුණා.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මේ දක්වා කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි.
මේ අතර, පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදිසි සාකච්ඡාවක් කැදවා තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.