Gossips

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව මුහුණදී ඇති ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබාදීමට සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල මූලික ගැටලු නිරාකරණය සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ අද පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
පසුගිය සමයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුව ද මූලික පහසුකම්වත් හිමි නොවූ ජනතාව විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බැවින් ඔවුන් නගා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුනා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම, හේන් ගොවියන්ට ස්ථීර වගා ක්‍රමයට යා හැකි ආකාරයට ඉඩම් ගැටලූවට විසදුම් ලබාදීම, හේන් ගොවියාගේ ජල ගැටලූවට විසදුම් ලබාදීම, වල් අලි තර්ජනය සදහා දිගුකාලීන විසදුම් ලබාදීම ඇතුළු ගැටලූ පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ ජනතාවගේ දුක්ඛිත ජීවන තත්ත්වයන් පිළිබද රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රමුඛ අවධානයක් යොමු විය යුතු බවයි.
ග්‍රාමීය වශයෙන් ක්ෂේත්‍ර නිලධාරින් කිහිප දෙනෙකු රාජකාරියේ නිරත වන අතර ජනතාව මුහුණ දී සිටින අසිරුතාවන් පිළිබද අදාළ අංශ දැනුවත් කිරිම ඔවුන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් දැනට ලබාදෙන සහනාධාර ප්‍රමාණවත් වන නමුත් ඒවා නිවැරදිව ජනතාව අතට පත් නොවීම ගැටලූවක් වී ඇති බැවින් එම ගැටලූ නිරාකරණය කර ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබුවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලූව පිළිබදව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුනු අතර ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් යෝජනා කර ඇති ලූණුගම්වෙහෙර ජලාශය යොදාගනිමින් දිනකට ඝන මීටර් 35,000ක ධාරිතාවකින් යුතු ජල යෝජනා ක්‍රමයක් සදහා සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියා.
එමෙන්ම කතරගම පූජා භූමියේ පානීය ජල ගැටලූව විසදීම සදහා කඩිනමි පියවර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
කතරගම ප්‍රදේශයේ ජලය ලබා දෙන ජල ප්‍රභවයට අමතරව දිනකට ඝන මීටර් 15,000 ක ධාරිතාවයකින් වැඩි කිරීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙනවා.