Gossips

බේරුවල වෙඩි තැබීමට 10ක් අල්ලයි – දකුණේ බුද්ධි මෙහෙයුමක්

බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පාතාල සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිපදෙනෙකුද සිටින බවයි.
වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අක්කර 80 ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රි 8.20 ට පමණයි.
පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ යතුරුපැදිය හරස් කර එය පැහැරගැනීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
වෙඩි වැදීමෙන් යතුරු පැදියේ සිටි 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබූ අතර, ධීවර කාර්මිකයෙකු වන ඔහු පයාගල – මුංහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි වැදුනු තරුණයා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණු අතර, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 10 දෙනා බේරුවල සහ අවට ප්‍රදේශවල සිදුවූ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
ඉන් තුන්දෙනෙකු බේරුවල ප්‍රදේශයේම නිවසක් කුලියට ගෙන රැඳී සිට ඇති බව සඳහන්.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ ඔවුන් එලෙස කුලී නිවසක රැඳී සිට ඇත්තේ වෙනත් අපරාධ ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් බවට සැක කරන බවයි.
මේ අතර නිරන්තරයෙන් අපරාධ වාර්තාවන දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම් සහ වෙනත් අපරාධ මැඩපැවැත්වීමට පොලීසිය විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
පසුගිය මාස ගණනාව තුළ අපරාධ වැඩි වශයෙන් වාර්තාවූ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මකයි.
මෙම මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගෙන තිබෙනවා.