Gossips

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි සබරගමුව පළාතටම ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීරණය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශය සුපිරි පහසුකම් ලබා දීමට තරම් ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික ශක්තියක් නොමැති වීම අරුමයක් නොවේ.
නමුත් මහජන මුදල් යොදවමින් ක්‍රීඩාව වෙනුවෙන් කරන ආයෝජන නිකරුනේ විනාශවීම කෙතරම් සාධාරණීකරණය කළ හැකිද ?
රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාතටම ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීරණය එළිමහන් ක්‍රීඩාංගණයකින්, ගෘහස්ථ ක්‍රීඩාංගනයකින් සහ පිහිනුම් තටාකයකින් සමන්විත වනවා.
2015 මැයි මාසයේ මෙම ක්‍රීඩා සංකීරණය අලුත්වැඩියා කටයුතු සඳහා වසා දමන්නේ 2016 පෙබරවාරි මස වැඩ නිම කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුමක් මතයි.
ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සහ පිහිනුම් තටාකයේ වැඩ අවසන් වී බොහෝ කලක් ගත වී ඇතත් තවමත් එය නැවත විවෘත කර නැහැ.
බලධාරීන්ගේ මේ නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් සබරගමුව පළාත් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් තවමත් නියමිත ප්‍රමිතියක් අසලකවත් නොමැති පිහිනුම් තටාකවලට සහ අනාරක්ෂිත ගංගා ඇල දොළට පමණක් සීමා වී තිබෙනවා.
පහසුකම් සහිත පළාත් වල තරගකරුවන් වසරින් වසර ජාතික පිහිනුම් කරලියේ අනසක පතුරුවද්දී සබරගමු පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුව තිබෙන්නේ දෑසින් පමණක් විඳගත හැකි පහසුකම් දෙස බලමින් සුසුම් හෙලන්නටයි.
පිහිනුම් තටාකය මෙන්ම, ඉතා ඉහල මට්ටමේ පහසුකම් සහිත ගෘහස්ත ක්‍රීඩාංගණය ද මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මේ වන විට
ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබෙනවා.
එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ද බලධාරීන්ගේ අවධානයක් නොලබා ඉබි ගමනින් සිදුවන්නේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය
ලබා දීමේ අවස්ථාව වසර දෙකක් පුරා සබරගමු පලාතට අහිමි කරමින්.
සබරගමු පළාතේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් මෙම විනාශය පිලිබඳ නුදුටු දෑසින් පසුවෙද්දී මෙම ක්‍රීඩා සංකීරණය කෙළිබිමක් කරගෙන තිබෙන්නේ
සුනඛයන් සහ විවිධ අපචාර ක්‍රියා සඳහා ස්ථානයක් සොයන්නන් පමණයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධාකාරයේ පහසුකම් ලබා දෙන බවට කට මැත දොඩවන ක්‍රීඩා බලධාරීන් අවම වශයෙන් තිබෙන පහසුකම් හෝ භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නේ නම්, මෙරට ක්‍රීඩාව තවත් පියවරකින් හෝ ඉදිරියට ගෙනයන්නට හැකි වනු ඇති.