Gossips

නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යට, තවත් පැමිණිල්ලක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අනාවරණ කළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ හෙළි කළ නාමල් කුමාර, ප්‍රංශයේ සිට මෙරට ගැටුම් ඇති කිරීමේ නිරත වූ බව කියන තුෂාර පීරිස් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා අනාවරණයක් සිදුකළා.
ඔහු සමඟ මඩකලපුව ප්‍රදේශයේ ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් ඉදිරිපත් කිරීමටයි නාමල් කුමාර පසුගිය 28 වනදා කටයුතු කළේ.
එමෙන්ම, මුස්ලිම් දේශපාලනඥයෙකු සහභාගි වන රැස්වීමකට පහරදීමේ සැලැස්මක් සම්බන්ධයෙන් වූ දුරකථන සංවාදයක් ද එදින ඔහු මාධ්‍යයට ලබා දුන්නා.
කෙසේ වෙතත්, මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමිනුයි නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ.
මීට පෙර නාමල් කුමාරට එරෙහිව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර, චෝදනා එල්ල වී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නිල කාමරය මුද්‍රා තබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.
එමෙන්ම ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් ද විමර්ශන සඳහා අපරාධ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.