Gossips

වැලිගම්පිටියේදී වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ගනී

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී කාන්තාවකට මරු කැදවමින්, අත් වැරදීමකින් සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වෙඩි තැබීමට ඉලක්කව සිටි පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබදව ජාඇල පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.
ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි පොලීසිය සඳහන් කළේ.
පෑලියගොඩ පොලීසියට ගොස් යළි පැමිණෙමින් සිටින අතරතුර මොහු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ පාතාල කල්ලි සාමාජිකයා සහ මිය ගිය කාන්තාව ගමන් ගත් මෝටර් රථ එක සමාන පැහැයෙන් යුක්ත බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ හේතුවෙනුයි පාතාල කල්ලි සාමාජිකයා ගමන් ගත් මෝටර් රථය යැයි සිතා කාන්තාව ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්.
ඇය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මෝටර් රථයෙහි 8 හැවිරිදි ඇගේ දියණිය ද සිට ඇති අතර, ඉන් දියණියට හානියක් සිදුව නැහැ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.