Gossips

බොරලැස්ගමුවේ මාරක අනතුර සිදුකර වෛද්‍යවරිය රිමාන්ඩ් – බීමත්ව සිටි බවටත් තොරතුරු

බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී අද (30) අලුයම සිදුවූ අනතුරට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරිය ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර වෛද්‍යවරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුවයි මෙලෙස ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ වෛද්‍යවරිය බීමතින් සිට ඇති බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය සඳහන් කළේ.
අද (30) අලුයම බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී මෝටර් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන 51 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මීට අමතරව ඔහු ගමන් ගත් මෝටර් රථයේ සිටි බිරිඳ සහ 8 හැවිරිදි පුතු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.
පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් ගත් මෝටර් රථය බොරලැස්ගමුවේ සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර, වෛද්‍යවරිය ගමන් ගත් මෝටර් රථය කොළඹ දෙස සිට පිළියන්දල දෙසට ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෛද්‍යවරිය ගමන් ගත් මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
දැනට අත්අඩංගුවේ පසුවන එම වෛද්‍යවරිය රත්නපුර ප්‍රදේශයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරනවා.
ඇය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ගල්කිස්ස ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටියදියි මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.