Gossips

තවත් දින තුනක් වැසි

වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූූ මහනුවර – අකුරණ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි.
ඒ හේතුවෙන් එම මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මේ නිසා මහනුවර සිට අකුරණ හරහා මාතලේ දක්වා ගමන් ගන්නා රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.
ඊයේ ඇදහැලූනු අධික වැසි හේතුවෙන් මහනුවර – අකුරණ නගරයේ කිලෝමීටරයක පමණ කොටසක් ජලයෙන් යටවුණේ නගරය අසළින් ගමන් කරන ඇළ මාර්ගය උතුරා යාමත් සමඟයි.
වෙළඳසැල් 350 ක් පමණ ප්‍රමාණයක් මෙහිදී ජලයෙන් යටව තිබූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
එසේම නාවලපිටිය නගරයද අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවී තිබුණා.
මුහුදු රළ ගොඩබිමට ගලාඒම හේතුවෙන් අම්බලන්ගොඩ – අකුරළ ප්‍රදේශයෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවූ අතර, කළුතර – කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේද එවැනි තත්වයක් දක්නට ලැබුණා.
මේ අතර දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩිවීමක් ඉදිිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරුමැද, මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලටත් මිලිමීටර 100 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම දැඩි නියං තත්ත්වය නිමා කරමින් මාස 6 කට පමණ පසු බදුල්ල දිස්ත්‍රික්කයට වැසි සහිත කාලගුණ තතත්වයක් ඇතිව තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පසුගිය කාලයේ පැවති නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව කැලෑ ගිනි තැබීම් සිදුකර තිබූ අතර, ඒ හේතුවෙන් වැසි සමඟ ගල් කඩාවැටීමේ අවදානමක්ද පවතින බවයි එම මධ්‍යස්ථානයේ නියෝජිතයෙකු සඳහන් කර සිටියේ.