Gossips

වාහන ආනයනකරුවන් අර්බුදයක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමේ පීඩනය ලිහිල් කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වාහන ආනයනකරුවන්ට දැඩි බලපෑම් එල්ල වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් වාහන ආනයන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වන බවයි.
රුපියලේ අවප්‍රමාණය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයක් සදහා අත්හිටුවීමට රජය ඊයේ තීරණය කළා.
ඊට අමතරව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ව්‍යවසායන් සදහා වාහන ආනයන කිරීම නැවත දැනුම්දෙන තුරු නතර කර තිබෙනවා.
එමෙන්ම, රාජ්‍ය අංශයේ සේවකයින්ට ලබාදී ඇති සහනදායි බලපත්‍ර භාවිතා කර වාහන ආනයනය ද මාස 6 ක කාලසීමාවකට බලපැවැත්වෙන පරිදි අත්හිටුවනු ලැබුවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමින් සියයට 70 ක ලීසිං පහසුකම සියයට 50 දක්වා පහත හෙළීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ රජය ගත් මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වීමට පවා ඉඩ ඇති බවයි.
රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සදහා රජය ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටිගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම පියවර තාවකාලික පැලැස්තරයක් පමණක් බවයි.