Gossips

නුවරඑළියේ පසේ වෙනසක්

එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ පවසනවා.
මේ හේතුවෙන් ඉදිරියේදී එළවළු අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග සහ එළවළු වර්ග ප්‍රධාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව වගා කෙරෙනවා.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පසට එකතු වන පොහොර ප්‍රමාණය ද අති විශාලයි.
බෝග වගාව සදහා පස් කිලෝග්‍රෑමයකට පොස්පරස් මිලිග්‍රෑම් 30 ක් ප්‍රමාණවත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වනවා.
කෙසේ වෙතත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින පසෙහි පොස්පරස් ප්‍රතිශතය මිලිග්‍රෑම් 100ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා සිදුකළ පර්යේෂණයකදී අනාවරණ වී ඇත්තේ.
එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල එම අගය මිලිග්‍රෑම් 400 ක් වැනි ඉතා ඉහළ අගයක් ගන්නා බව ද සදහන්.
වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් එළවළු ගොවීන් අධිකව පොහොර භාවිත කිරීම මීට හේතුව බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන බෝග සහ සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ සදහන් කළේ.
මෙම ව්‍යසනයේ තවත් දිගුවක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර දූෂණය වීමේ පෙර සලකුණු මතුව ඇති ආකාරයක් ද දක්නට ලැබෙනවා.
බොහෝ ස්ථානවල පවතින ජලයේ කිසියම් ඇල්ගී විශේෂයක් දක්නට ලැබෙන අතර, සුප්‍රසිද්ධ ග්‍රෙගරි වැව ද ඊට ඇතුළත්.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සරත් අමරසිරි ද අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ පොස්පරස් ජලාශවලට ගලාගෙන ගොස් එහි ඇල්ගී වර්ධනය වන බවයි.
පසුව එම ජලාශ භාවිතයට ගත නොහැකි මට්ටමට පත්වන බව ද ඔහු සදහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ එළවළු වගා කරන වෙනත් ප්‍රදේශවල ද අධික ලෙස පොහොර භාවිතය සිදු වන බවයි.