Gossips

අඹේපුස්ස සෙබලා ඝාතනයට ඇල්ලූ සෙබලුන්ගේ වැඩ තහනම්

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවා තිබෙනවා.
යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියක් මගින් සැකකාර හමුදා සෙබලුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුර තුළ රාජකාරියේ යෙදී සිටියදී මෙම හමුදා සෙබලා ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 21 වන දා අලුයමයි.
ඝාතනයට ලක්වූ සෙබලා කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි හමුදා සෙබලෙක්.
මීට වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට එක්වී ඇති ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සෙබලුන් දෙදෙනා පසුගිය 25 වන දා පස්වරුවේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙහිදී අදාළ සෙබලාගෙන් පැහැර ගත් ගිනි අවිය ද සොයා ගත් අතර, සෙබලා ඝාතනය කිරීම සඳහා යොදා ගත් තියුණු ආයුධය ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.