Gossips

බංග්ලාදේශයට එරෙහි තරග ශ්‍රී ලංකාව ජය ගැනීමට හේතුව ?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තීරණාත්මක දෙවන 20 යි 20 තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජයග්‍රහණය කළ යුතු අතර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වීමට නම් බංග්ලාදේශය අද තරගය ජය ගත යුතුයි.
විචාරකයන් පෙන්වා දෙන්නේ අද තරගයේ තණතිල්ල ද බංග්ලාදේශයට වාසිදායක ආකාරයෙන් සැකසෙනු ඇති බවයි.
මේ අතර මෙම ටෙස්ට් සහ 20 යි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ විවිධ මත පළවනවා.
විචාරකයන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් බංග්ලාදේශ පුහුණුකරු ධුරයේ කටයුතු කර එම ක්‍රීඩකයන්ගේ මෙන්ම තණතිලි පිළිබඳ චන්දික හතුරුසිංහ ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේදී බෙහෙවින් දායක වු බවයි.
2014 වසරේ සිට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
බංග්ලාදේශ කණ්ඩායම වර්තමානයේ දක්ෂතා දක්වන මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් වැඩි කාර්ය භාර්යයක් ඉටු කළ අයෙක් ලෙසටයි හතුරුසිංහ සැලකෙන්නේ.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ සැලසුම් පිළිබඳ මනා දැනීමකින් යුක්ත වීම හමුවේ ඊට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණු කිරීම තුලින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ලබාගැනීමට හැකිවන්නට ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ සත්‍ය වශයෙන්ම බංග්ලාදේශයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන සමයේ ලබාගත් අත්දැකීම් මෙම තරගාවලියේදී ප්‍රයෝජනවත් වූ බවයි.
ඒ අනුව ඇතැම් ක්‍රීඩකයන්ට මුහුණදිය යුතු ආකාරයේ සැලසුම් සකස්වු බව ද ඔහු සඳහන් කළා.
බංග්ලාදේශ කණ්ඩායම පීඩන තත්වයන් යටතේ හැසිරෙන ආකාරය තුල ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය හඳුනාගෙන තිබු බවයි ශ්‍රී ලංකා පුහුණුකරුවා කියාසිටියේ.
තමා අපේක්ෂා කළ ආකාරයෙන්ම පළමු තරග දෙකේදී බංග්ලාදේශ කණ්ඩායම ඉතා තියුණු මුහුණුවරකින් ක්‍රීඩා කළ අතර එය එසේ නොවුයේ නම් තමාගේ සැලසුම් අවලංගු විය හැකිව තිබු බව හතුරුසිංහ ප්‍රකාශ කළා.
මෙම තරගාවලිය පෞද්ගලිකවම තමාට ඉතා සතුටුවිය හැකි තරගාවලියක් වු බව ද ඔහු සඳහන් කරනවා.
කෙසේවෙතත් තමාගේ ඉවත්වීමෙන් පසුව ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රගතියක් අපේක්ෂා කරන බවයි හතුරුසිංහ අවධාරණය කළේ.
එම කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ අවධානයෙන් පසුවන බව ද ඔහු කියාසිටියා.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමුදුල්ලා සිය හිටපු පුහුණුකරු පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.
තම කණ්ඩායම සහ පෞද්ගලිකව සියලුම ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳ දැනුවත්ව සිටින හතුරුසිංහ එම දැනුම මෙම තරගවලදී තමන්ට එරෙහිව යොදාගත් බවයි මහමුදුල්ලා පෙන්වා දෙන්නේ.
ඉතා විශිෂ්ඨ ගණයේ පුහුණුකරුවෙකු වන හතුරුසිංහට එම දැනුම ඉතා හොඳින් පවතින බව ද ඔහු සඳහන් කළා.
කෙසේවෙතත් තමන් හොඳින් ක්‍රීඩා කළේ නම් තරගා ජය ගැනීමට හැකියාවක් පැවති බවයි බංග්ලාදේශ නායක මහමුදුල්ලා කියාසිටියේ.