Gossips

පහළ වායුගෝලයේ කැළඹීමක් – තවදුරටත් වැසි

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙන්ම ඌව, සබරගමුව, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසිත් සමඟ එම ප්‍රදේශවලට ප්‍රබල අකුණු සහිත පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මාස 6 ක පමණ කාලයක් උතුරු පළාතට පැවති දැඩි නියං කාලගුණය නිමා කරමින් මේ දිනවල වර්ෂාව ඇද හැළෙමින් පවතිනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්වලට වර්ෂාව පැවති බවයි.
දැඩි වර්ෂාව සමග පැවති සුළං තත්වය හේතුවෙන් නිවාස කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

ඡායාරූප – වව්නියාව රොමේෂ් මදුෂංක