Gossips

අර්ජුන් මහේන්ද්‍රන් දෙවන සිතාසියත් නොසළකන්නේ නම්, නීතිපති ජාත්‍යන්තර පොලීසියට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දෙවන වරට නිකුත් කරන ලද සිතාසියත් නොසළකා හරින්නේ නම් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි නීතිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාළ නිිතිමය කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.
මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවෙකු බවට නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පසුගිය 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මීට පෙර සිතාසි නිකුත් කළා.
කෙසේ වෙතත් ඔහු ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් පසුගිය 16 වනදා අධිකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කරනු ලැබුවේ එළඹෙන මාර්තු 08 වනදා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.
එම නියෝගය අධිවේගී තැපෑල හෝ කූරියර් සේවාව මගින් ඔහු වෙතම යොමුකරන ලෙසටද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දැනුම්දෙනු ලැබුවා.
මහ බැංකු බැඳුම්කර වාර්තාවේ සැකකරුවන් බවට නම් කර ඇති පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මාර්තු මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.