Gossips

හඬ පරීක්ෂාවට පැමිණි DIG නාලක නිහඬව පිටව යයි

කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කට හඬ සාම්පලයක් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා.
ඒ, කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.
මේ අනුව පෙරවරු 9.55 ට පමණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මිනිත්තු 45 ක පමණ කාලසීමාවක් එහි රැඳී සිට පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.
කෙසේ වෙතත්, ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිටව යන මොහොතේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මාධ්‍යවේදීන් දැඩි උත්සාහයක නිරත වුව ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නිහඬවම පිටව ගියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියදා හඬ පටයක් ප්‍රසිද්ධියට පත් කළා.
එම හඬ පටය මගින් ඍජුවම චෝදනා එල්ල වුණේ එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාටයි.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරද ඊයේ තවත් අනාවරණයක් සිදුකළා.
ඔහු කියා සිටියේ තමන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර ගැටුමක් ඇති කිරීමට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මූලික වූ බවයි.
එමෙන්ම, නාලක ද සිල්වා දුරකතනයෙන් තමාට තර්ජනය කළ හඬ පටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද ඔහු කියා සිටියා.
මීට අමතරව මෙරට විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ අනුදැනුම මත ප්‍රංශයේ සිටින ඩයස්පෝරාවේ පුද්ගලයෙකු තමන්ට මුදල් එවූ බවද නාමල් කුමාර අනාවරණය කළා.
එමෙන්ම, නාමල් කුමාරගේ වරකාපොල නිවසේදී පසුගියදා අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, අධිකරණය නියෝග කරනු ලැබුවේ ඔහුගේ කායික, මානසික හා විකලාංග වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසයි.
ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත අදාළ ඉන්දීය ජාතිකයා මාස 03 ක කාල සීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර, කුමන්ත්‍රණය අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සිංහලේ ජාතික සංවිධානය, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.