Gossips

රණවිරු අභිමානය සුරැකීමට රජය කැපවන බව ජනපති කියයි

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සෙබලාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලූදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප්‍රසාද නොඅඩුව ලබාදෙන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේ දී.
විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
යුද්ධය පැවති සමයේදී මෙන්ම ඉන් පසුව ද යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.
2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව ද ඔහු සදහන් කළා.
යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලූදෙනාට නීතිය ක්‍රියාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සදහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
වර්තමාන ලෝකයේ පවතින ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලූ මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් කියසිටියා.