Gossips

බලය පෙන්වීමට අදත් සාකච්ඡා

පවතින දේශපාලන අර්බුදය තුළ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා සියලූ පාර්ශව අදත් විවිධ සාකච්ඡාවල නිරතවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනම වෙනම සාකච්ඡා පැවැත්වීමත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමත් අද දිනය තුළ සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.
මෙහිදී හෙට ආරම්භවන පාර්ලිමේන්තු සතිය තුළ බහුතර බලය පෙන්වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත දිනාගැනීමේ වැඩපිළිවෙල අවසන් අදියරයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අද පක්ෂ අභ්‍යන්තරයේ විවිධ සාකච්ඡාවලට සහභාගිවී තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔවුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සහභාගිවී ඇත්තේ.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ආරම්භ වූ බවයි.
මෙහිදී පක්ෂයේ ප්‍රධාන තනතුරුවල වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවද ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අප කළ විමසීමකදී කියා සිටියා.
පාර්ලිමේන්තුව හෙට පෙරවරුවේ රැස්වීමට නියමිත අතර, වෙනදාට වඩා ඒ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
හෙට දින සභා වාරය ආරම්භ වීමෙන් පසු පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් පෙන්නුම් කිරීම මගින් අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවේද යන්න පිළිබඳවද කථාබහක් ඇතිවී තිබීම මෙලෙස අවධානය යොමුවීමට ප්‍රධාන හේතුවයි.