Gossips

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගැන, පොලිස් විමර්ශන ඇරඹේ

ඵෙතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ දායක සභාව සීගිරිය පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද අද එහි පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.
පිදුරංගල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනට යෙදී තිබූ පොහොය දිනයේදී පර්වතය මතට නැගි තරුණ කණ්ඩායමක් මෙලෙස අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර ඇති බවයි.
පිදුරංගල පුදබිමෙහි ඉතිහාසය සීගිරි කාශ්‍යප රාජ සමය දක්වා දිව යනවා.
කාශ්‍යප රජු, සිය රාජධානිය සීගිරිය පර්වතය මත ගොඩනගන අවස්ථාවේදී එහි විසූ භික්ෂූණ් වහන්සේලාට වැඩ විසීම සඳහා සීගිරි පර්වතයට උතුරින් පිහිටි මෙම පර්වතය පාමුල ඉදිකළ විහාරය පිදුරංගල රජමහා විහාරය බවයි පුරාවිද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.
කෙසේ වෙතත්, පර්වත මුදුනේ සිට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය දෙසට මුහුණලා ගෙන තිබූ අඩ නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් අද උදෑසන හිරු ප්‍රවෘත්ති මගින් මුල් වරට අනාවරණය කළා.
මෙලෙස පිදුරංගල රජමහා විහාර පර්වතය අපවිත්‍ර කළ තරුණ කණ්ඩායම කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පිදුරංගල රජමහා විහාරයේ, විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් විහාරස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
පොලිස් මූලස්ථානය පස්වරුවේ නිවේදනය කළේ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපයන්ට පෙනී සිටි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, මෙලෙස අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැරි තරුණයින්ගෙන් දෙදෙනෙකුගේ අනන්‍යතාවය දැනටමත් අනාවරණය කරගෙන ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප භාර අධ්‍යක්ෂ ජී.නීලප්‍රේම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, මෙලෙස අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයට මුදා හැරි තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සමාව අයැද තිබෙනවා.
කුරුණෑගල – මලියදේව විදුහලේ සිසුවෙකු වන ඔහු එමගින් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම පාදක කර ගනිමින් සිය පාසලට හා දෙමව්පියන්ට පරිභව කිරීමෙන් වළකින ලෙසයි.