Gossips

ආණ්ඩුවේ කාර්ය භාරය ගැන හිටපු ජනපතිගෙන් සිහි කැදවීමක්

ආණ්ඩුවේ කාර්ය භාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ පිළිබදව මැසිවිලි නැගීම නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ, රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණි 2014 වසරේ අවසානයේ රුපියල් 131 ක් වූ ඩොලරයේ අගය අද වනවිට රුපියල් 170 ඉක්මවා ගොස් ඇති බවයි එමඟින් ඔහු පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවක කාර්ය භාරය වන්නේ ලෝක ප්‍රවණතා අධ්‍යයනය කර ඊට සමගාමීව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම නිවේදනයේ තවදුරටත් සඳහන් කරනවා.
විදේශීය ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඒ හේතුවෙන් විදේශීය ණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට ශ්‍රී ලංකාව හසු වී ඇති බවත් ප්‍රකාශ කරන ඔහු ඉන්ධන මිල මෙම වසරේ තුන් වතාවක් ඉහළ දමා ඇති බව ද කියා සිටියා.
ජනතාව මත අය කරන බදු හෙළිවීම නිසා මිල සූත්‍රය ප්‍රසිද්ධ නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අදහසයි.