Gossips

බස් ගාස්තු ගැන යළි අනතුරු ඇඟවීමක්

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය ඉක්මවා ඉන්ධන මිල ඉහළ දැමුවහොත් යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ බස් ගාස්තු ප්‍රතිපත්තියට වඩා ඉන්ධන මිල ප්‍රතිශතය ඉහළ දැමුවහොත් යළි බස් ගාස්තු මිල ඉහළ යනු ඇති බවයි.
පසුගිය 20 වන දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් ඉහළ දැමීමටයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කළේ.
මේ වර්ෂය තුළ අවස්ථා දෙකකදී බස් ගාස්තු සංශෝධනය වී තිබෙනවා.
මීට පෙර අවම ගාස්තුව රුපියල් 10 සිට 12 දක්වා වැඩිවූ අතර, එවර සමස්ත බස් ගාස්තුව සියයට 12.5 කින් ඉහළ දැමුණා.
මෙලෙස බස් ගාස්තු සංශෝධනය වූයේ වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂවයි.
මේ අතර, රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වීම නිසා ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.
හඳුන්වා දී ඇති නව මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය වනවා.
ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් 10 වන දා ද යළිත් ඉන්ධන මිල සංශෝධනය කෙරෙන කමිටුව රැස්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, යළිත් ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුවහොත් බස් ගාස්තු ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇති බවටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ.