Gossips

ටොනේඩෝවකින් අනුරාධපුරයේ සහ රත්නපුරයේ නිවාස රැසකට හානි, වවුනියාවට අයිස් වැස්සක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (23) පස්වරුවේ ඇතිවූ ටොනේඩෝ තත්ත්වයකින් නිවාස 60කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි.
දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 03ක නිවාස 51 කට මෙම ටොනෝඩෝ තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා.
එමෙන්ම ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශය හමා ගිය සුළඟකින් අඩි 100 මාර්ගයට ගස්කඩා වැටීම නිසා අවහිර වු අතර, මේ වන විට එම මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.
ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව ගණනය කරමින් සිටින බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ එම ප්‍රදේශයේ දැඩි සුළඟත් සමඟ විදුලි රැහැන් මතට ගස්වල අතු කඩාවැටීම හේතුවෙන් බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
වවුනියාව – ඕමන්ත, පාවට්ටානුකුලම් ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ හමාගිය සුළඟකින් නිවාස 07 කට හානි සිදුව තිබෙනවා.
මෙම සුළං තත්ත්වයෙන් ප්‍රදේශයේ කෙසෙල් වගාවන්ට ද හානි සිදුව ඇති බව වාර්තාවනවා.
වවුනියාව – මරදංකුලම් ප්‍රදේශයට පැවති දැඩි සුළං සමඟ අයිස් වැස්සක් ද ඇදහැලුණු බවයි වවුනියාව ආපදා කළමණාකරණ මධස්ථානය සඳහන් කළේ.
එමෙන්ම පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක්ද අද (24) පෙරවරුවේ ගිලා බැස තිබෙනවා.
මේ හේතුවෙන් එම මාවතෙහි පාලම් 03 හන්දියේ සිට පාර්ලිමේන්තුවට ගමන් ගන්නා මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමුණා.
මේ අතර දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අද පෙරවරු 8.30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හබරණ ප්‍රදේශයටයි.
එය මිලිමීටර් 131.5 ක් වනවා.