Gossips

නායකත්වයෙන් ඉවත් වූ මැතිව්ස්ගෙන් විශේෂ ලිපියක්

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඊයේ (23) ඉවත් වුණා.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට ලිපියක් යොමුකර තිබෙනවා
එහිදී ඔහු පවසන්නේ පසුගිය සිකුරාදා (21) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ ප්‍රධාන පුහුණුකරු තමාට එක්දින සහ පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බවයි.
ආසියානු කුසලානයේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරීමට කටයුතුකර ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් තමන් එම පරාජයේ කොටස්කරුවෙකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන් දැරිය යුතු නොවන බවයි මැතිව්ස් පෙන්වා දෙන්නේ.
කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් සියළු තීරණ තේරීම් කමිටු සාමාජීකයින්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනුදැනුම ඇතිව ගත් බවයි මැතිව්ස් වැඩි දුරටත් එම ලිපියේ දක්වා ඇත්තේ.
වසර 05පමණ කාලයක් නායකත්වය දැරීමෙන් පසු 2017 වසරේදී තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ බවත් තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සමයේ ජයග්‍රහණ රැසක් කරා කණ්ඩායම මෙහෙය වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වී සිටි අවස්ථාවක පුහුණුකරු සහ තේරිම් කමිටුවේ ඉල්ලීම මත යළි එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වය භාරගත් බවද ඔහු එම ලිපියෙන් සිහිපත් කර සිටිනවා.
තමන් තවදුරටත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තම සේවය ඕනෑම අවස්ථාවක ලබාදීමට සැදී පැහැදී සිටින බවයි මැතිව්ස් පවසන්නේ.
නමුත් තමන් කණ්ඩායමට නොසුදුස්සෙකු වන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවටද මැතිව්ස් අනතුරු අඟවනවා.
තමන් හෘද සාක්ෂියට එකඟව කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන් බවත් කණ්ඩායමේ ස්ථානය තමන්ට රැකගැනීමට දක්ෂතාවය ඇති බවත් ඔහු පවසනවා.
නිමාවූ දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් බව මතක් කරන මැතිව්ස් ලිපිය නිමා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සුභ පතමින්.