Gossips

ජගත් මහා මණ්ඩල සමුළුවට සහභාගී විමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා.
අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් අමරිකාව බලා පිටත්ව ගිය බවයි.
පාඨලී චම්පික රණවක සහ ජෝන් අමරතුංග යන අමාත්‍යවරුන් ද ඊට අයත්.
රාත්‍රී 9.10 ට ජනාධිපතිවරයා ඇතුලු පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව පැවැත්වෙන අතර එහි ප්‍රධාන සැසි වාරය ලබන අඟහරුවාදා ආරම්භ කෙරෙනවා.
එක්සත් ජාතීන් සියළුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ සාමකාමී හා තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන්න මෙවර සැසි වාරයේ තේමාවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන අඟහරුවාදා පස්වරුවේ සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, ලබන සඳදා ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය ගැටළුව පිළිබද ගෝලීය ක්‍රියාමාර්ගයන් සඳහා වූ හමුවට එක්වන අතර අනතුරුව එදිනම නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ සමාරම්භක අවස්ථාවට ද එක් වනු ඇති.
26 වන බදාදා ජනාධිපතිවරයා ක්ෂය රෝගය පිළිබද විශේෂ වැඩසටහනකට ද එක්වීමට නියමිත අතර, ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව අරමුදලක් පිහිටුවීමේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ද එක්වනවා.