Gossips

අඹේපුස්ස සෙබලාගේ ඝාතනය ගැන, හමුදාවෙනුත් පරීක්ෂණ

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ යුද හමුදා පොලීසිය විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ද අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වනු ලබනවා.
මිය ගිය යුද හමුදා සෙබලාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ගම්පහ රෝහලේ සිදුකළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ සෙබලාට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඔහුගේ හෘදයට හානි සිදුව ඇති බවයි.
මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් හමුදා සෙබලාගේ ටී – 56 ගිනි අවිය ද රැගෙන පළා ගොස් ඇති බව සඳහන්.
හමුදා කදවුරේ ඇති සී.සී.ටී.වී. දර්ශනවල පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරන ආකාරය ද සටහන් වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අදාළ හමුදා සෙබලාගේ ගිනි අවිය පැහැර ගැනීමේ අරමුනින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට ද විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.
කෙසේ වෙතත්, හමුදා කදවුරක් තුළ මෙම ඝාතන සිදුකිරීම ගැටළුසහගත තත්ත්වයක් බවයි අදාළ විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ.
අදාළ හමුදා සෙබලා වසර දෙක හමාරක පමණ කාලයකට පෙර දී යුද හමුදාවට බැදී ඇති අතර, ඔහු අඹේපුස්ස යුද හමුදා කදවුරේ සම්මාන ධජ රදවා ඇති ස්ථානයෙහි ඇති මුර කුටියෙහි රාජකාරීයේ නිරතව තිබෙනවා.
ඊයේ අලුයම 3ත්, 4ත් අතර මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි විමර්ශන සිදුකරන නිලධාරීන් සැක පළ කරන්නේ.
අදාළ ගිනි අවිය හෝ ඝාතකයන් පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.
21 හැවිරිදි අදාළ යුද හමුදා සෙබලා කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.