Gossips

මාරුවක් නිසා සෙත්සිරිපාය උණුසුම්

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ හදිසියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට මාරු කිරීමට එරෙහිව දෙපාර්තමේන්තු සේවකයන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ, බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
මේ වනවිටත් සමෘද්ධි දෙපාර්තමේන්තු සේවකයින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිටව යාමට අවස්ථාව ලබා නොදී ඔහුගේ නිල කාමරය අවහිර කර ඇති බව සඳහන්.
සේවකයින් සමෘද්ධි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ මාරු කර යැවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරිය වන ශිරානි වීරකෝන් සමඟ සාකච්ඡා කිරීමේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
පසුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින්, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.
හදිසි ස්ථාන මාරුව සම්බන්ධයෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කෙටි කාලයක් තුළ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම හේතුවෙන් මෙලෙස ඔවුන් තමන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එක්රැස්ව සිටින බවයි.