Gossips

අස්ථාවරත්වය කඩිනමින් අවසන් කළ යුතු බව මහානාහිමිවරුන් කියයි

රට තුළ පවතින දේශපාලන අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.
එම දෙපාර්ශවයම පෙන්වා දෙන්නේ රට තුළ මේ වනවිට පවතින අස්ථාරව තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු බවයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් මල්වතු මහානාහිමියන් පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු රට තුළ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය අඛන්ඩව පවත්වාගෙන යාමෙන් රාජ්‍ය පාලනය බිඳ වැටීම සහ ආර්ථික පරිහානිය ඇති විය හැකි බවයි.
ඒ අනුව, ව්‍යාකූල තත්ත්වයක් සහ අස්ථාවරභාවයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
මේ අතර, අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් රට තුළ දැනට පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද අස්ගිරි විහාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
දේශපාලන පක්ෂ රට ගැන සිතා කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියේ.
‘‘ ස්ථාවරභාවයෙන් තොරව මේ රටේ රාජ්‍ය තන්ත්‍රය කටයුතු කරනවා නම් එයින් සිදුවන හානිකර තත්ත්වය පිළිබඳව නැවතත් අපිට සිතා බලන්නට සිදුවෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී කල්පනා කළ යුතුයි මහජනතාවගේ සුබසිද්ධිය. රටේ ආරක්ෂාව, ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කරලා ස්ථාවර තත්ත්වයෙන් රට පවත්වාගෙන යාමට අපි පැහැදිලිවම අපේක්ෂා කරන්නේ මේ රටේ ස්ථාවර රාජ්‍යයක්. දේශපාලන පක්ෂ තමන්ගේ බලලෝභය, බලය තහවුරු කරගැනීම වෙනුවට රට ගැන සිතා කටයුතු කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාට වගකීමක් තිබෙනවා ඒ පිළිබඳ විශ්වාසය තවදුරටත් රැඳී පවතිනවා’’