Gossips

සපුගස්කන්ද හා කහතුඩුව පොලිසියට විරෝධය

පහරදීමක් සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් පොලීසියට පැමිණ ඊයේ (16) කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ දේශපාලන බලපෑම් මත පොලීසිය සිද්ධියට අදාළ සැකකරුවන් මුදා හැර ඇති බවයි.
සපුගස්කන්ද විදුලිබලාගාර මංසන්ධියේදී ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් පිරිසක් 25 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකුට ඊයේ පස්වරුවේ පහරදී තිබුණා.
පහරදුන් පිරිසට එහිදී ප්‍රදේශවාසින්ගෙන් විරෝධය එල්ල වී ඇති අතර, පසුව පහරදුන් පිරිසම තරුණයා රැගෙන පොලීසියට පැමිණ ඇති අතර එහිදී තරුණයා රෝහල් ගත කර පහරදීම සිදුකළ පුද්ගලයන් නිදහස් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවූ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් ඊයේ සපුගස්කන්ද පොලීසිය ඉදිරියට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.
කෙසේ වෙතත්, කැළණිය සහකාර පොලිස් අධිකාරිවරිය එම ස්ථානයට පැමිණ පහර කෑ පුද්ගලයාගේ පාර්ශවයට සාධාරණය ඉටු කරදෙන බවට පොරොන්දුවීමත් සමග විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගැණුනා.
මේ අතර. රාජකාරි උපදෙස් ලබාදීම හේතුවෙන් පහරකෑමට ලක් වූ පානදුර දකුණ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට ප්‍රතිකාර සදහා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ රාජකාරියට වාර්තා කිරීමට පැමිණෙමින් සිටියදි බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේ ලොරි රථයක් නවත්වා තිබූ පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු සමග එහි සිටි පුද්ගලයන් බහින් බස්වීමක් සිදුකර ගන්නා අයුරු ඔහු නිරීක්ෂණය කර තිබුණා.
පසුව එම ස්ථානයට ගිය මෙම පොලිස් පරීක්ෂකවරයා දඩ කොළයක් ලබාදී ලොරි රථය මුදා හරින ලෙස රථවාහන අංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබුණේ සිද්ධිය සමතයකට පත් කිරීමේ අරමුණින්.
කෙසේ වෙතත්, දඩ කොළය රැගෙන එම ස්ථානයෙන් පිටව යන අතරතුර ලොරි රථයේ සිටි පිරිස අතරමගදී යළි හමුවූ මෙම පොලිස් පරීක්ෂකවරයාට පහරදී තුවාල සිදුකර තිබෙනවා.
සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.
මේ අතර, පොලිස් වැටලීමක් අතරතුර පලායාමට ගොස් ඊයේ පිලියන්දල – කහතුඩුව – හෙරලියාවල ප්‍රදේශයේ ඇළකට වැටී අතුරුදන් වූ 21 හැවිරිදි තරුණයාගේ මළ සිරුර ද අද සොයා ගත්තා.