Gossips

මත්පැන්වලට එරෙහිව උපවාස කළ පුද්ගලයෙකු රත්නපුරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරේ

රත්නපුර – ෆාම්ගාඞ්න් වත්ත ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කළ පුද්ගලයා මීට පෙර රත්නපුර ප්‍රදේශය අවට නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයා බවට හඳුනාගෙන තිබෙනවා.
රත්නපුර නගරයේ ඇති ජල ටැංකියක් මත නැගී මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර විරෝධතාවක නිරතවුණේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින්.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැමිණි පිරිසක් මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදුකර මාර්ගයක් අසළ දමාගොස් තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් මොහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්පැන් ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ දරුවන් විසින් සිදුකර ඇති බවට පොලීසිය මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
කෙසේ වෙතත් මෙම ඝාතනයත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් අදාළ මත්පැන් ජාවාරම්කරුගේ නිවසටද පහරදී ඇති බවයි වාර්තා වන්නේ.