Gossips

මැයි දක්වා තද වැසි නැහැ – ජලය රැකගන්නැයි ඉල්ලීමක්

මැයි මාසයේ නිරිත දිග මෝසම ආරම්භ වනතුරු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිටත් ජලාශ රැසක ජල මට්ටම අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.
එම නිසා, මාස් කන්නයේදී පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ සහ පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමේදී අභියෝගයකට මුහුණදී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.
මේ වනවිට මහවැලි ජලාශ රැසක ද ජල මට්ටම පහත වැටී තිබෙනවා.
රන්ටැඹේ ජලාශයේ ජල මට්ටම ඊයේ වනවිට සටහන් වුණේ සියයට 7 යි දශම 9 ක් ලෙසයි.
කොත්මලේ, බෝවතැන්න, සමනළ වැව, රාජාංගනය, නාච්චදූව සහ මින්නේරිය වැවේ ජල මට්ටම සියයට 50 කටත් වඩා අඩු වී ඇති අතර, තිසා වැව, නුවර වැව, කවුඩුල්ල, මෙන්ම මාදුරු ඔය ජලාශයේ ජල මට්ටම ද සීග්‍රයෙන් අඩුවෙමින් පවතින්නේ වැසි රහිත කාලගුණය හේතුවෙන්.
කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 74 යි දශම 3 ක් ලෙස සටහන් වන අතර, මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සියයට 81 යි දශම 2 ක් ලෙස ඊයේ වනවිට සටහන් වී තිබුණා.
මාවුස්සා කැලේ, කාසල් රී, උඩවලව, රන්දෙණිගල, කලාවැව, උල්හිටිය – රත්කිද සහ දඹුලූ ඔය ජලාශයේ ජල මට්ටම විශාල අඩු වීමක් පෙන්නුම් කර නැහැ.
පරාක්‍රම සමුද්‍රයේ ද සියයට 96 යි දශම 1 ක ජල ධාරිතාවක් ඊයේ වනවිට සටහන්ව තිබුණා.