Gossips

DIG නාලකට අනිවාර්ය නිවාඩු – නාමල් නිවස හැර යයි

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙසට පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
අද පෙරවරුවේ නීතිය හා සාමය අමාත්‍යාංශය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන බවට ඇතුළත් නිර්දේශය පොලිස් කොමිසම වෙත යොමු කළා.
ඒ අනුවයි අද පස්වරුවේ පොලිස් කොමිසම රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත්තේ.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පසුගිය 12 වනදා මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමග පැවැත්වූ දුරකථන සංවාදයක හඩ පටයක් මාධ්‍ය වෙත මුදා හැරියා.
එමඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබූ අතර, අනතුරුව පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කිරීමටයි පියවර ගැණුනේ.
මේ අතර මෙම සිද්ධියට අදාළව දුරකථන ඇමතුම් ඇතුළත් ජංගම දුරකථනයේ ඇති දත්ත විශ්ලේෂනය කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සහ නාමල් කුමාර යන අයගේ කට හඩ සැසඳනේනේද යන්න තීරණය කිරීම සඳහා ඔවුන් දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්විය යුතු බවටයි මහේස්ත්‍රාත්වරිය එහිදී දැනුම්දී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
මේ අතර අදාළ හෙළිදරව්ව සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.
එබැවින් තමන් පදිංචිව සිටින ප්‍රදේශය අතහැර යාමටද තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.