Gossips

සීනි කිලෝවක තොග මිල රුපියල් 15 කින් ඉහළට

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීමට සීනි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළා.
ආනයනික සීනි බද්ද රුපියල් 11 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟයි මෙම මිල වැඩිකිරිම සිදුකර ඇත්තේ.
කෙසේ වෙතත් එම බදු සංශෝධනය හරහා වෙළඳපොලේ සීනි මිලෙහි වෙනසක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටත්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 25 කින් පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුව ඊයේ තීරණය කළා.
මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ නිෂ්පාදන ආයතනවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව එම අධිකාරිය ප්‍රකාශ කළා.
එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රුපියල් 87 ඉක්මවා පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිවද වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.