Gossips

ගෑස් නංවන කිරිපිටි බස්සන ගැසට් නිවේදනය අද

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීම සහ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් පහළ දැමීම සදහා වන ගැසට් පත්‍රය අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.
කෙසේ වෙතත්, සංශෝධිත මිල ගණන් ක්‍රියාත්මක වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් ගෑස් මිල රුපියල් 323 කින් ඉහළ දමන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ පිළිබදව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ද සාකච්ඡාවට බදුන් වූ අතර, මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජීවන වියදම් කමිටුවට බලය පැවරුණා.
කෙසේ වෙතත්, ගෑස් සපයනු ලබන ප්‍රධාන සමාගම් වලින් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මිල වෙනස්වීම් සම්බන්ධයෙන් හෝ ඒවා ක්‍රියාත්මක වන දිනයන් පිළිබදව මෙතෙක් තමන් දැනුම්වත් කර නොමැති බවයි.
මේ අතර, තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමූ නිෂ්පාදන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.
එමෙන්ම, තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක් සදහා වන උපරිම සිල්ලර මිල වන රුපියල් 87 ඉක්මවා පිටි අලෙවි කරන වෙළදුන්ට නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරිය සදහන් කළේ.