Gossips

අයවැයේ දින වෙනසක්

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය විවාද කරන දින සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංයට කියා සිටියේ.
අයවැය යෝජනාවලිය නොවැම්බර් 08 වනදා ඉදිරිපත් කර දෙසැම්බර් 08 වනදා දක්වා විවාද කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.
එහෙත් එම දින සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය සිදුකළ ඉල්ලීම සළකා බලා මෙම තීරණයට එළඹි බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව නොවැම්බර් මස 08 වනදා ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබූ අයවැය කථාව නොවැම්බර් 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එදින සිට දින 26 ක කාලයක් අයවැය විවාදය පැවැත්වෙනු ඇති.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නොවැම්බර් පස්වනදා 2019 අයවැය ඉදිරිපත් කරන දිනයේ පස්වරු දෙකට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
නොවැම්බර් හත්වනදා සිට 14 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, 14 වනදා පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇති.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඉන් අනතුරුව ආරම්භ වන අතර, දෙසැම්බර් 8 වනදා අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කළේ.