Gossips

ජිනීවා හි ශ්‍රී ලාංකිකයින්, සටනකට සැරසේ

පසුගිය සැප්තැම්බර් 10 වනදා ආරම්භ වූ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වන සැසි වාරය 28 වන දායින් අවසන්වීමට නියමිතයි.
මෙවර සැසි වාරයේදී ලක් රජය නියෝජනය කරමින් මෙරට සිට කණ්ඩායමක් එහි නොයැවූ අතර, ජිනීවා ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අබ්දුල් අසීස්, ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.
කෙසේ නමුත්, ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී අදහස් දැක්වීමට රාජ්‍ය නොවන සංවිධාන සහ සුළු ජන කොටස්වලට ඉඩ සැලසෙන අතර, දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් ද ඉදිරි දිනවලදී එහි යාමට නියමිතයි.
මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කෙරෙනවා.
අත්තනෝමතික රදවා ගැනීම් පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ඉන් පළමුවැන්නයි.
සත්‍යය, යුක්තිය, සාධාරණත්වය හා ගැටුම් වැළැක්වීම ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ගේ ශ්‍රී ලංකා සංචාරය අලලා සකස් කළ වාර්තාවක් ද එලෙස ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය සෑම සැසි වාරයකදීම මෙන්ම මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයට සමගාමීව ද එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සිය ප්‍රචාරක කටයුතු දියත් කර තිබෙනවා.
ජිනීවා නුවර ශ්‍රී ලාංකිකයන් පෙන්වා දෙන්නේ ඒ සඳහා ඔවුන් අති විශාල මුදලක් වැය කර ඇති බවයි.
මෙරට යුද්ධයේදී දෙමළ සිවිල් වැසියන් විශාල වශයෙන් මිය ගිය බව තහවුරු කිරීම සඳහා ඔවුන් ඡායාරූප ප්‍රදර්ශනයක් ද මානව හිමිකම් මණ්ඩල සැසි වාරය පැවැත්වෙන ස්ථානය ආසන්නයේ සංවිධාන කර ඇති අතර ජංගම ප්‍රචාරක රථ ද යොදා ගන්නා බව සඳහන්.
ජිනීවා නුවර සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඒ පිළිබද වාර්තාවක් මෙලෙස සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.