Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ගැන හෙළිදරව් කළ නාමල්ගෙන් සී.අයි.ඩී ය පැය 10ක් ප්‍රශ්න කරයි – විශේෂ ආරක්ෂාව මැද යළි නිවසට

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ, නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඊයේ උදෑසන 10ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු ඉන් පිටව ගියේ රාත්‍රී 8ට පමණයි.
එහිදී ඔහු තම නිවස පිහිටි වරකාපොළ – තුල්හිරිය ප්‍රදේශයට පැමිණියේ විශේෂ පොලිස් ආරක්ෂාව යටතේයි. මීට අමතර තමන් නිවසට පැමිණි පසු ආරක්ෂාව ලබාදෙන ලෙසට ද වරකාපොළ පොලීසියට දැනුම් දීමක් කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වේ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතන 4කට ඊයේ නියෝග කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
එමෙන්ම, අදාළ චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
පරීක්ෂණ අවසන් වනතුරු ඔහු තොරතුරු තාක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත්තේ පොලිස් කොමිසමේ ආවරණයට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින්.