Gossips

කිලිනොච්චියේ පුරාවිද්‍යා බිමක් ඩෝසර් කරයි

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ චන්ද්‍ර නැමැති උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ඩෝසර් කර ඉවත් කර තිබෙනවා.
අදාල සංස්කෘතික මධ්‍යස්ථානය කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ඉන් කිසිදු අයුරකින් නගරයේ කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට බාධාවක් එල්ල වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, වසර කිහිපයක සිට එම ඉපැරණි නටබුන් සහිත ස්ථානය ඉවත් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කරච්චි ප්‍රාදේශීය සභා නිලධාරීන්ට දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුවයි ඊයේ දිනයේදී ප්‍රාදේශීය සභා නිලධාරීන් එම ස්ථානයට පැමිණ නටබුන් ඉවත් කර ඇත්තේ.
නටබුන් ස්ථානය ඩෝසර් කර ඉවත් කරන අවස්ථාවේදී ඊට ශ්‍රීදරන් මන්ත්‍රීවරයා ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවලගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අදාළ පුරාවිද්‍යා ස්ථානය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට ද තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් සහ සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.